8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට
April 29, 2026 06:03 pm
8වෙනි පාර්ලිමේන්තුවේ සහ 9වෙනි පාර්ලිමේන්තුවේ මුදල් භාවිතය සම්බන්ධයෙක් සියලුම අංශ නියෝජනය වන පරිදි සම්පූර්ණ විගණනයක් සිදුකර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පවසයි.
අද (29) පෙරවරුවේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කථානායකවරයා මේ බව පැවසීය.
එහිදී ඔහු පැවසුවේ, තවත් මාසයක් පමණ කාලයක් අතුලදී එම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමට විගණකාධිපතිවරිය පොරොන්දු වූ බවය.
"රටේ තියෙන මුදල් සියලූම දේවල් විගණනයට භාජනය විය යුතුයි. පාර්ලිමේන්තුවේ අපි දැක්ක දෙයක් තමයි යම් යම් අංශයන් විගණකාධිපති තුමාගේ විගණනයට මීට පෙර ලක්වෙලා නෑ. ඒ නිසා අපි කල්පනා කළා, මුදල් භාවිතය පිළිබඳ පාරදුෂ්‍යභාවය මේ රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි. ඒ සඳහා මම හිටපු විගණකාධිපති තුමා වික්‍රමරත්න මහත්මයාව ගෙන්නලා ඉල්ලා සිටියා මේ වන විට 8වන පාර්ලිමේන්තුවත් 9වන පාර්ලිමේන්වත් මට සම්පූර්ණ විගණනයක් කරලා දෙන්න කියලා. එතනදී අපිට ජනතාවට කියන්න පුළුවන් ජනතාවගේ මුදල්, පාර්ලිමේන්තුව සඳහා යොදවන මුදල්වල භාවිතයන් පිළිබඳව මේ රටේ ජනතාවට දැන ගැනීමට අයිතියක් තියෙනවා. ඒ සඳහා තමයි අපි පාර්ලිමේන්තුව විගණනයකට ලක් කරන්නේ. ඉදිරියේදී 10 වන පාර්ලාමේන්තුවටත් ඒ විගණනය කරන්න බලාපොරොත්තු වෙනවා.
මාස 6ක් පමණ වෙනවා මේ ගැන විගණකාධිපතිට කියලා විගණනය කරන්න කියලා. මේ ළඟදිත් අපේ අලුත් විගණකාධිපති තුමිය ජයරත්න මැතිනියට මම කිව්වා හැකි ඉක්මනින් ඒ වාර්තාව ලබා දේන්න කියලා. එතුමියත් පොරොන්දු වුණා මාසයක් වගේ කාලයක් අතුලත දී 8වන පාර්ලිමේන්තුවේත්, 9වන පාර්ලිමේන්තුවෙත් එම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා."
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ දිනවන්නා පරීශ්‍රයේ ස්ථාපිත කර අදට වසර 44ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගය වැදපුදා ගැනීම සඳහා කාථානායකවරයා අද එක්විය.
පසුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබාගගෙන තිබුණි.
